Wednesday, April 18, 2018

මංමුලා වූ අැගේ සිහිනය





අනේක විද කම් කටොලු මැද දහසක් පැතුම් පොදි හිස මත දරා සුනාපරන්තයේ දේශයකට (අරාබිකරයේ රටකට) පැමිණ තරුණ ජීවිතයම මංමුලාවූ වැහැරුණු එහෙත් තවමත් යෞවනියක් වූ ඇයට අප නතාෂා යයි අමතමු.
            ඉතා දීර්ඝ නිහැඬියාවකට පසු ඇයගේ කතාව ලොවට කියන්නට නැවතත් මා සිහිනෙන් පිබිදුනෙමි. මර නින්දේ සොඳුරු සිහින දකිමින් සිටිනා තවත් අපේ සොයුර සොයුරියන් අවදි කරනු රිසියෙන් ඇයගේ කතාවට අපි සවන් දෙමු.


            මිරිස්ස තිබ්බටුහේන තමයි අපේ ගම. මම උපන්නෙ තිබ්බටුහෙනෙ. අපේ තාත්ත ආණ්ඬුවෙ කන්තෝරුවක ලිපිකරු රැකියාවක් කළේ. අම්ම තමයි ගෙදර හැම වැඩක්ම බලා කියා ගත්තෙ. නංගිටයි අයියටයි මැද ඉපදුණු මම තමා පවුලෙ මද්දුමී. ඒ තාත්ත මට ආදරේට කතා කරන නම. තාත්ත හැමදාම වැඩට යන්නෙ මෝටර් බයිසිකලේ නැගල. හවසට තාත්ත වැඩ ඇරිල ආවම මෝටර් බයිසිකලේ රවුමක් යන්න මමයි නංගියි හරිම ආසයි. මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙ තමයි අපි තුන්දෙනාම ඉගෙන ගත්තෙ. ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම අයියටයි නංගිටයි අම්ම බත් කවනවා. මම පුළුවන් කාලෙ ඉඳලම මගේ වැඩ තනියෙන් ම තමා කර ගත්තෙ.

 බලන්න ලොකු පුතේ මද්දුමී නංගි තනියෙන් බත් කනවා...
 තාම මම ඔයාට බත් කවන්න එපැයි. 

 අම්ම සමහර වෙලාවට අයියට නොක්කාඩු කියනකොට අහිංසක ආඩම්බරයකට වඩා අමුතු වගකීම් සහගත බවක් මගේ හිතපුරාම දැවටුණා.

            මම සාමාන්‍යපෙළ පන්තියෙදි අයිය ඉගෙන ගත්තෙ උසස් පෙළට. ඒ කාලෙ වෙන කොට ගෙදර අස් පස් කරන වැඩ වල ඉඳල අයියගෙ ඇඳුම්නුත් සේදුවෙ මගේ දෑතින්මයි. උසස් පෙළට පාඩම් කරන අයියට මගේ අතින් යුතුකමක් වගකීමක් ඉටු විය යුතු බව මගේ හිතේ නිතර නිතර පිළිරැව් දුන්නා. ඇරත් ඒ වෙනකොට අම්මට ආතරයිටීස් වගේ කියල දොස්තරල කීප දෙනෙකුම කියල තිබුනෙ. වෙද මහත්තුරුන්ටයි දොස්තර මහත්තුරුන්ටයි තාත්තගෙ පඩියෙන් සැහෙන කොටසක් වෙන් කරන්න සිද්ද වුණා. තනියෙම එහෙමට වැඩක් පලක් කර ගත නොහැකි තරමටම අම්මා ඔත්පල වෙද්දී මද්දූමී වු මගේ දෙවුර මත පවුලේ සෑහෙන බරක් දරන්නට සිදු වුණා.

            ඒ අතර මගේ පාසල් ගමන අතර මග නතර වුවත් මා හට දිරි දෙන්නට තරම් දෛහිරියක් තාත්තගේ හිතේ ද ඉතිරි වී නැති බව පියුම් අයියා ගෙදරටම ගෙනවිත් දී ගිය ලියමනේ සඳහන් වී තිබුණා. නිවාඩු අවසන් වීම සහ සේවයට නොදන්වා නොපැමිණිම යන හේතු මත තාත්තාව සේවය අතහැර ගියා සේ සළකන බව රා.සේ.පි මුද්‍රාව යටතේ සඳහන් කර තිබුණා. මේ කාලය වන විට අයියාද දෙවන වර උසස්පෙළට සුදානම් වෙමින් සිටියා. එදා වැහි අන්ධකාරයෙන් පිරුණු දවසක්. සීත හුලඟට මිදුලේ කොට්ටම්බා ගස ඇඹරෙන හැටි ඉස්තෝප්පුවට වී බලා සිටි මට අමුතු මූසල හැඟීමක් ගත සිත වෙලනු දැණිනි. සැරින් සැරේ වැහි කෝඩයක් හමා ගියත් අඳුර නම් වැඩි වුනා මිස අඩු නොවුණි. වැහි අඳුර මැදින් ගේ දෙසට මහේෂ් මාමා අවේලාවේ එන්නෙ ඇයි දැයි කුහුලකින් පිරි මා, 

            ඇයි මාමේ..?  
            මද්දුමියෝ...තාත්තට පොඩි කරදරයක්... බයිසිකලේ හන්දියෙ දි හැපිල.. 
            මොනවා.. තාත්තට මොකද මාමේ දැන්..    
            තාත්තව ඉස්පිරිතාලෙ ගෙනිහින් ඒ හැටි කරදරයක් නෑ මං හිතන්නෙ.. 

 මගේ සර්වාංගයම අඩපණ වුවා සේ දැණිනි.

            මාසෙකට පස්සෙ තාත්ත ගෙදර ආවෙ අත්වාරුවෙන් එක කකුලක් නැතිව. තාත්තාට දන්න පෙරකදෝරු මහත්තෙයෙක් ලඟ යතුරු ලියන්න ලැබුණා. ඉඳ හිට සෑහෙන ලොකු මුදලක් අතමිට මෙලවුවත්, ගෙදර අඩු පාඩු පිරිමහන්න ඒක ප්‍රමාණවත් වුනේ නෑ. ඒ වෙනකොට මගේ හිත ඕනෑම දේකට සූදානම් වීමට තරම් දර දඬු වී හමාරයි. අයියාට ද කිසිවක් සිතා ගන්ට බැරිවයි හිටියෙ. චමොද් අයියා අපේ අයියගෙ හොඳ යාළුවෙක්. එයා නිතර නිතර අපේ ගෙදර ඇවිත් අයියා එක්ක පාඩම් කළා. ඒ දේන්නට තේ වතුර හදං කාමරයට ඇරංගියේ මම. චමෝද් අයියාගේ අහිංසක වදන් ඒ වෙනකොටත් මගේ හිත හොරකම් කරලයි තිබුනෙ. හිමාලි ඇන්ටියි කල්දේරා අංකලුයි අපේ ගෙදර අඩුපාඩුකම් ඉඳ හිට හොයල බැලුව. ඒ චමෝද් අයියගෙ අම්මයි තාත්තයි. කල්දේරා අංකල් වැඩකලේ විදේශ රැකියා ඒජන්සියක. දවසක් කල්දේරා අංකලුයි ඇන්ටියි හදිසියේම වගේ අපේ ගෙදර ආවා. 

            නතාෂා දුවේ.. කෝ සිරිතිලක ඉන්නවද?   
           ඉන්නවා ඇන්ටි. තාත්තේ..... තාත්තේ....
           මේ කල්දේරා අංකල්ල ඇවිල්ලා.... 

           එදා හවස තාත්ත හිටියෙ හරිම දුකෙන්.  

           අංකල්ල ඇවිත් තියෙන්නෙ දූට රස්සාවක් හොයල දෙන්න... 
           මට පුළුවනි ද උඹලගෙන් හම්බු කරන් කන්න....
           එහෙම හිතන්න එපා තාත්තෙ.... දැන් අපි තාත්තට සලකන්න ඕන කාලෙ. 
           කොහෙද ජොබ් එක තියෙන්නෙ... දොහා කටාර්ලු දුවේ. 

           අනික උඹට ඕවයෙ ඉහ ගහන්න බෑ.”  අම්මා ගේ වදන් වෙනදාට වඩා දුක්මුසු යයි මට හැඟුණි.

අයියට ඉගෙන ගන්න තව සෑහෙන මුදලක් යට කරන්න වෙයි. මේ පාර නම් මෙඩිසින් සිලෙක්ට් වෙනවමවයි කියල තමා කියන්නෙ. නංගිවත් ආයෙ ඉස්කෝලෙ යවන්නෝන. මගේ හිත තව තවත් දැඩි වූයේ මටත් නොදැනීමයි.

             
එදායින් පසු චමෝද් අයියාත් අපේ ගෙදර ආවෙ ගියෙ නැති තරම්. ඒත් කල්දේරා අංකල් දවසක් ඇවිත් මගෙන් නැවතත් රට රස්සාව ගැන අහද්දි මම හිත දැඩි කරන් හා කීවා. ටිකට් එකේ සල්ලිත් කල්දේරා අංකල්ම දෙන්නම් කීව. සති දෙකකින් මට රට අතහැර යන දවස උදා වුනා. අම්මත් තාත්තත් අයියත් නංගිත් බදා ගෙන එදා මං කවදාවත්ම නැති තරං ඇඬුවා. අඬල ඉවර වෙද්දි මගේ හිත බලාපොරොත්තු ගොන්නක් සමග මහා එඩිතර කමකින් පිරී ගියා. චමෝද් අයියා වෙනදා මෙන් කතා කිරීමට උත්සහ ගත්තද ඔහුගේ සිතේ කැකෑරෙන වියෝව දෙනෙත්හි දිලිසෙමින් තිබුනා. වාහනයට ගොඩවන විට චමෝද් අයියා මගේ අතේ ගුලි කළ කඩදාසිය එහෙමම ගුලි කර පසුම්බියේ ඔබා ගත් මම එය දිග හරින විට පොළවට සැතපුම් දහස් ගාණක් ඉහල අහසේ පියාසරමින් සිටියා. මගෙත් චමෝද් අයියගෙත් සම්බන්ධය හිමාලි ඇනිටිත් කල්දේරා අංකලුත් දැනගෙන එයට තදින්ම විරුද්ද වී ඇති බව එහි සඳහන් වී තිබුණා. 

            ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. දෙකයි එකයි හතරයි දරණ අප ගුවන් යානය දැන් දොහා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට සූදානම්.. 
           කරුණාකර ආසන පටි තද කරගන්න....

            මම රට ආවෙ ක්ලීනින් කම්පැණි එකක ජොබ් එකකට. අපි 5 දෙනෙක් එක කාමරේක හිටිය. ඒ අතර ඉන්දියන් සහ පිලිපීන අය තමා වැඩි. කම්පැණියෙන් අපිව එක එක ආයතන වල පිරිසිදු කිරීම් වැඩ වලට අනුයුක්ත කරල තිබුනෙ. උදේට වාහනයකින් ගෙනත් අදාල ආයතනයට ඇරලලා හවසට ආයෙත් එකතු කරන් බෝඩිමට ගෙනත් බස්සනවා. අපේ ඕනෑ එපා කම් ගැන හොයල බලන්න කිසි කෙනෙක් නෑ. අපි වැඩ කරපු ආයතන බොහොමයක ඉන්නෙ ඉතාම සැර පරුෂ අය. මගේ අතේ තිබුණු මොප් එකෙන්ම ගුටිකාපු දවස් ද තිබුණා. අයියයි නංගියි තාත්තයි මතක් වෙද්දි සිතේ නැගෙන වේදනාව ගතේ වේදනාව සමනය කිරීමට සමත් වූවා. අස්වර් අයියා හඳුනා ගන්න ලැබෙන කොට මම වැඩ කලේ ඔහු වැඩ කළ ශාඛාවේම දෙවන මහලේයි. කර්කශ කැකෑරෙන කාන්තාර භූමියේ මගේ දුක මගේ භාෂාවෙන් අසා සිටියේ අස්වර් අයිය විතරයි. එයා පොළොන්නරුවෙලු. මෙහෙට ඇවිත් අවුරුදු 5 ක් පමණ වෙනවලු.



            අස්වර් අයියයි මමයි නිවාඩු සිකුරාදා දවස් වල හමු වීමට පුරුදු වුණා. ගිණි ගත් කාන්තාරයේ හදිසියේ හමු වූ ක්ෂේම භූමියට මම ඇළුම් කරන්නට වුනා. ඒ ටික කාලය ඉතා සොඳුරු ලෙසින් ගෙවී ගියා. චමෝද් ගෙන් හිස් වූ මගේ ලෝකයේ, අස්වර් ගේ පැමිණීම ඉමහත් අස් වැසිල්ලක් වුනා. කාන්තාරයේ අතරමං වී සිටි මගේ පාළු සිත සිසිලසින් පුරවාලන්නට අස්වර් සමත් වුනා. දිනක් උදේ ක්ලාන්ත ගතියක් දැණුනු අතර සිහි එන විට මම සිටියේ පෞද්ගලික ඉස්පිරිතාලෙක ඇඳක් මතයි. මගේ පිලිපීන යෙහෙලියත් අස්වර් අයියත් ඒ අසල සිටියත් අස්වර් අයියගේ මුහුණේ වෙනදා තිබුණු සිනහවත් පැහැපත් බවත් අතුරුදන් වී තිබුණා. ඒ වන විට මා දෙමස් ගැබිණියක බව මගේ යෙහෙලිය ඉතා සතුටින් පැවසූව ද අස්වර් සිටියේ නොසන්සුන් මනසින් බව ඔහුගේ නලලේ වූ රැලි මත සටහන් වී තිබුණි.

            මෙහෙම උනේ කොහොමද නතාෂා... 
           ඔයා මාව රැවැට්ටුවද... 
           ඇයි අස්වර් අයියා ඔහොම කතා කරන්නෙ.. 
           ඔයා ඇරෙන්න වෙන කවුරුවත් මම ආශ්‍රය කලේ නෑ... 

මා ඉදිරිපිට ම මා තැනූ සිහින ලෝකය බොඳවී යන බව පසක්වන විට මා ගැනම මට ඇතිවූයේ තද බල වෛරී හැඟීමකි. අස්වර් ගේ දුරකතන අංකය ප්‍රතිචාරයක් නැතිවිය. ඔහු සිටිනා තැනක් ද නොදත් මම ඔහු වැඩ කළ මහලේ කාර්යාලය වෙත ගියෙමි.  
           කැන් අයි ස්පීක් ටු මිස්ටර් අස්වර් ප්ලීස්... 
           ඕකේ අයිල් පාස් ද මෙසේජ් ටු හිම්. ප්ලීස් සිට් ඇන්ඩ් වේට් හියර්... 

           නතාෂා ඔයා මොකටද මෙහෙට ආවේ... 
           මං කියල තියෙනවා නේද මෙහෙට එන්න එපා කියල... 
           යමු අපි එලියට මෙතන ඔෆිස් එකක්... අස්වර් මං ඔයාට කෝල් කලා දවස් ගාණක්. 
           ඒත් ඔයාගෙ මොබයිල් එක ස්විච් ඕෆ්... 
           බැරිම තැන තමයි මං මෙහෙට ආවෙ. ඔයා නිකමටවත් මට කෝල් කළේ නෑනේ.. 

           මං මොකටද ඔයාට කෝල් කරන්නෙ... 
           ඔයා විහින් අමාරුවෙ වැටුනෙ. මට බෑ අනුන්ගෙ පව් කර ගහන්න. 
           ආයෙ මාව හම්බවෙන්න නාවට කමක් නෑ. මට කරදර කළොත් මං කියනවා පොලීසියට... 
           අස්වර් මේ ඔයාමද කතා කරන්නෙ... කමක් නැ.... මං යන්නම්....

            රාජකාරී කටයුත්තක් සඳහා පෙරකදෝරු මහතෙකු හමුවීමට ගිය මොහොතේ උසාවි භූමියේදි නතාෂා අපි දැන හැඳින ගත්තෙමු. ඇය අපට හමුවන විටද දෑත් රිදී පාටින් දිලිසෙමින් තිබුනි. ඇයගේ රත්තරං සිහින සියල්ල රිදී මාංචු ජෝඩුවකින් බැඳ දමා තිබුණි. ඔලුවේ සිට රෙදි කැබැල්ලක් පොරවා සිටි ඈ ලාංකිකයින් බව දැන අප හා දොඩමලු විය. මගේ හීන සේරම දෙපාමුලම කඩා ඉහිරුණා මහත්තයෝ.. එදා අස්වර් මුණගැහිල කාමරේට ඇවිත් මං ඇතිතරං ඇඬුව...මටම ගහගත්ත...සර්.. හවස් වෙනකොට මට හරියට අමාරුවුනා. මගේ යාළුවො මාව ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මා. ඒ වෙනකොටත් සෑහෙන්න ලේ ගිහින් තිබුනෙ... මගේ දරුව නැතිවෙලා බව මං දැන ගත්තෙ පහුවෙනිදා. දවස් දෙකකට පස්සෙ පොලිසියෙන් ඇවිත් ඉස්පිරිතාලෙන් මාව අරං ගියා. අද මාව උසාවියට ඉදිරිපත් කරනවලු.  මාස ගණනාවකින් ගෙදෙට්ට සල්ලි යවලත් නෑ. හෙට මාව නිදහස් කරල ලංකාවට යවයි නේද සර්.....?  


ප.ලි.

            අපට ඇය හමු වන විට ත් නීතිඥ සහයක් ලබා නොතිබුණි. නම් ගම් පමණක් මන:කල්පිත නතාෂාලා තවමත් දවසින් දවස බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන සිහිනපුරේ සරනු ඇත. ඒ සිහින අතර අතරමං වන ඔවුනට පිළිසරණක් තවමත් පෙනෙන තෙක් මානෙක නැති බව පමණක් සටහන් කර තබමි.